අප සත්‍යය කතා කළ යුතුයි- අගුලු දැමීම අසාර්ථකයි-අපිට නැවුම් චින්තනයක් අවශ්‍යයි.

පසුගිය සති දෙක තුල අනාවරණය වු නව ආසාදිතයන් පිළිබඳව අප දන්නා පරිදි, ඇඳිරි නීතිය ඉවත් කිරීම ඇතුළු කොවිඩ් පාලන පියවර ලිහිල් කිරීමට කිසිදු තාර්කිත පදනමක් නොතිබුණි. මෙය බරපතලවුත්, මුළුමනින්ම මඟහැරිය හැකි වුත්, ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් වන අතර අනුමත කළ නොහැකි ව්‍යසනයකි.මේ රටේ වගවීම පිළිබඳව කිසියම් දෙයක් අදහස් කළේ නම්, ඊට සම්බන්ධ වූවන්ට එහි ප්‍රතිවිපාක විඳින්නට ඉඩ තිබුණි. ඇත්ත වශයෙන් පැහැදිලිව කිවහොත් මම අදහස් කළේ ජනාධිපතිවරයා නොව, ඔහු මෙතෙක් කටයුතු කර ඇත්තේ ඔහුට ලබා දී ඇති උපදෙස් මතය.

මාර්තු 20 වන දින සවස රජය දිවයින පුරා ඇඳිරි නීතිය පැනවු විට අපට සිටියේ ආසාදිතයින් 72 ක් පමණි. ඒ වන තෙක්ම වාර්තා වු සියල්ලන්ම පාහේ, මාර්තු 19 සියලු ගුවන් ගමන් නැවැත්වීමට පෙර, විදේශයන්හි ආසාදනය වී මෙරටට පැමිණි අයයි. විදේශිකයන් මගින් සෘජුව හෝ වක්‍රව ආසාදනය වු ප්‍රජාව තුල සිටි පුද්ගලයින් දුසිමක් පමණ විය.

ඇඳිරිනීතිය සඳහා පැහැදිලි අරමුණු 3ක් තිබිය යුතු විය.

  1. වෛරසය විදේශයන්හි සිට පැමිණෙන්නන්ට සීමා කිරීම– මේ සඳහා මෑතකදී විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන්ම ආසාදිත දැයි පරීක්ෂා කිරීමත්, වෛරසය අන් අයට පැතිරීම වැලැක්වීමට ආසාදිත පැමිණෙන්නන් සහ ඔවුන් ඇසුරු කල අය ආරක්ෂිතව නිරෝධානය කිරීමත් අවශ්‍යය.
  2. ප්‍රජාව තුල සැඟවුනු ආසාදිතයින් ඉක්මනින් හඳුනා ගැනීම සහ වෙන්කර හුදකලා කිරීම සඳහා ඇති ධාරිතාව හා පද්ධතියක් ඇති කිරීම.
  3. මුල් අරමුණු දෙක සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු කාලයක් ප්‍රජාව තුල සැරිසරන වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම මන්දගාමී කිරීමට සමාජ අන්තර්ක්‍රියා අඩු කිරීම.

අප්‍රේල් 17 වන දින වන විට සති 4ක අගුලු දැමීමක් අප සම්පුර්ණ කර ඇත. ඉන් අනතුරුව පැමිණි දින 10 තුල අපට නව ආසාදිතයින් 220 කට අධික ප්‍රමාණයක් විය.

පහත වගුවේ රතු පැහැයෙන් දක්වා ඇති පරිදි, මේ සියල්ලක්ම පාහේ වෛරසයේ දේශීය සම්ප්‍රේෂණය සම්බන්ධ ඒවාය.

2020 ජනවාරි 17 සිට අප්‍රේල් 24 දක්වා සම්ප්‍රේෂණ කාන්ඩය අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ වසංගත චක්‍රය

මෙයින් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කිරීමට කැමැතියි. පළමුව, විදේශයන්හි සිට පැමිණෙන්නන් සහ ඔවුන් හා කිට්ටුව සම්බන්ධවුවන්ට පමණක් වෛරසය සීමා කිරීමට අප අසමත් වී ඇත. අනිත් රටවල් මෙය සති හතරකින් සිදු කළ අතර, අප එසේ නොකලෙමු.

දෙවනුව, නව ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම, සොයා යාම හා හුදකලා කිරීම සඳහා ඇති හැකියාව ස්ථාපනය කිරීමට අප අසමත් වී ඇත. මේ අපට ප්‍රමාණවත් තරම් පරීක්ෂණ ධාරිතාවක් ඇති බව නිලධාරින් පැවසුවද, රටපුරා පරීක්ෂණාගාර විශේෂඥයින් දැන් ඔවුන්ට කල හැකි දේ කඩිනමින් පුලුල් කිරීමට පොරකමින් සිටින තත්වයකදීය. අපට අවශ්‍ය විශාල පරීක්ෂණ යන්ත්‍ර ලබා ගැනීමට තිබු අවස්ථාවන් ගණනාවක් පසුගිය සති කිහිපය තුළ ප්‍රතික්ෂේප කර ඇත. අවම වශයෙන්, අපට දිනකට සාමාන්‍යයෙන් පරීක්ෂණ 5000-6000 ක් කිරීමේ ධාරිතාව අවශ්‍ය වන අතර, මුල්ලේරියාවේ නව පරික්ෂණ පහසුකම් සම්පුර්ණ කිරීමෙන් පවා එය ප්‍රමාණවත් නොවනු ඇත. ඉදිරි මාස වලදී මේ රට සුරක්ෂිතව තබා ගැනිම සඳහා ප්‍රමාණවත් වන පරීක්ෂණ ප්‍රතිපත්තියක් තවමත් අප සතුව නොමැත.සියලු දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් වන රෝගීන් පරීක්ෂණ වලට භාජනය කිරීම අනිවාර්ය කිරීම වැනි සරලව පියවර පවා තවමත් සිදුකර නොමැත.

තෙවනුව, වසංගතය පැතිරීම සිදුවිය නොහැකි මට්ටමකට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමට ඇඳිරි නීතිය භාවිතා කිරීමට අප අසමත් වී ඇත. විවිධත්වයෙන් යුත් කොළඹ හා වැලිසර නාවික කඳවුර තුල ඇතිවු එකක් දෙකක් වු ආසාදිතයින් ගණන, බරපතල තත්වයන්ට වර්ධනය වී ඇත. සමාජ දුරස්තභාවය සහ මුඛ ආවරණ ලබා දීම වැනි මුලික සනීපාරක්ෂක ක්‍රියාමාර්ග නොමැතිව අපි දැන් ඇඳිරි නීතිය ඉවත් කලහොත්, ප්‍රජාව තුල හඳුනා නොගත් ආසාදිතයින් වේගයෙන් අන් අයට වෛරසය පැතිරවීමේ සැලකිය යුතු අවදානමකට අපි මුහුණ දෙමු.

අපි අවම වශයෙන් තවත් සති දෙකක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් අගුලු දැමීම පවත්වා ගත යුතුය. ඒ හඳුනාගත් ආසාදිතයින් හා ඔවුන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වුවන් සියලු දෙනාම වෙන් කර හුදකලා කල බවට සහතික වන තෙක් සහ අගුලු දැමීම ඉවත් කලවිට විශාල වශ‍යෙන් නොදැන ආසාදන පැතිරීම පාලනය කිරීම සහතික කළ විටය. අගුලු දැමීම නොමැති විට සීඝ්‍රයෙන් පැතිරීම වැලැක්වීමට නම් මහා පරිමාණයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමත්, අපව ආරක්ෂාකාරීව තබා ගැනීමට සමාජ දුරස්ථකරණය සහ මහජන සනීපාරක්ෂක ක්‍රම සඳහා උත්සාහය ඉහල දැමීමත් වැදගත්ය.

අපට තවමත් මේ සියල්ල කල හැකිය. එය එසේ සිදු නොවීම මගේ කණස්සල්ලට හේතුවයි.

බිඳ දැමිය නොහැකි සත්‍ය නම්, පසුගිය මාසයේ අගුලු දැමීමේ කාලය අපි නාස්ති කළ අතර, කළ යුතු දේ නොකළෙමු. එය සිදු වුයේ මුදල් හිඟකම නිසා හෝ ජනාධිපතිවරයා, හමුදාව සහ අපේ වෛද්‍යවරුන්, හෙදියන් සහ රසායනාගාර විශේෂඥයින් ඔවුන්ට පැවසු දේ කිරීමට අකමැති වීම නිසා හෝ මහජනතාව කැපකිරීම් කිරීමට අකමැති වීම නිසා හෝ නොවේ.

මෙම අසාර්ථකත්වයේ මූලය තිබුනේ, අත්‍යවශ්‍යම හෝරාවේදී නැගී සිටිමට නොහැකි, අප මුහුණ පා ඇති අභියෝගය සම්පුර්ණයෙන්ම තේරුම් ගැනීමට නොහැකි, රාමුවෙන් පිටත සිතිය නොහැකි මානසිකත්වයක් යැයි නිගමනයට පැමිණීම මඟහැරීම දුෂ්කරය.

මෙම මානසිකත්වය තවදුරටත් පවතිනු ඇතැයි මම බිය වන අතර, අපි සියළු දෙනාම බිය විය යුතු වෙමු. එළඹෙන වසර තුල කොවිඩ් අපට නව ගැටලු රාශියක් මතුකර දෙන අතර ඒවායින් බොහෝමයක් අපගේ අතීත අත්දැකීම් වලට වඩා වෙනස් වනු ඇත. අප ඉන්නේ ඉතා දිගු යුද්ධයක් ආරම්භයේය. එම මානසිකත්වය වෙනස් කළ නොහැකි නම්, රජය නව නායකත්වයක් ගැන සිතීම හෝ අප මුහුණ දෙන දේ සහ අප විසින් කළ යුතු දේ පිළිබඳව අවබෝධයක් ඇති අයගෙන් නැවුම්, ස්වාධීන මඟ පෙන්වීමක් ලබා ගැනීම නුවණට හුරුය.

පරිවර්තනය: වෛද්‍ය සරත් සමගේ

2020 අප්‍රියෙල් 26 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.

1 thought on “අප සත්‍යය කතා කළ යුතුයි- අගුලු දැමීම අසාර්ථකයි-අපිට නැවුම් චින්තනයක් අවශ්‍යයි.

  1. ඉතාම වැදගත් කාලීන සටහනක්
    වෛද්‍ය සරත් සමරගේ මහතාට
    කෘතඥ වෙමු.

Leave a Reply