අප දිනකට පරීක්ෂණ 2,000-6,000 පමණ කළ යුතු බවට විශේෂඥයින් උපදෙස් දී ඇතත්, එය සිදු නොවන්නේ ඇයි?

ප්‍රතිකාර සඳහා රෝගී වූවන් සොයා ගැනීමට පමණක් නොව, වඩා වැදගත් වන්නේ සැඟවුනු ආසාදිතයන් ප්‍රජාව තුළ ගත කරන කාලය අඩුකිරීමෙන් ආසාදන පැතිරීම බිඳ දැමීමේ කොවිඩ් ප්‍රතිචාරයට මහා පරිමාණයෙන් පරීක්ෂණ ඇතුලත් විය යුතු බව, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අපි නිරන්තරයෙන්ම කියා සිටියෙමු. 

අප දිනකට පරීක්ෂණ 6,000ක් කළ යුතු බවත්, එය කල නොහැකි නම් අවම වශයෙන් දිනකට 2,000ක් කල යුතු බවත් අප්‍රේල් 6 වන දින සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලදී. අපි එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග බෙදා ගත් අතර, ජනතාවගේ දැනගැනීම සඳහා මෙම බ්ලොග් අඩවියේ පල කළෙමු. දිවයිනේ වඩාත්ම ජේෂ්ඨ වෛද්‍යවරුන් වැඩි දෙනෙක් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත ගණන් කල නොහැකි ප්‍රමාණයක් වෛද්‍ය විශේෂඥයින්ද සමාන අදහස් ප්‍රකාශ කර ඇත.

ඊට පසුව එදිනම (අප්‍රේල් 6), සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥයින් එවැනිම නිගමන වලට පැමිණ ඇති බව අපට දැනගන්නට ලැබුණි. කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා අද දෙරණ රූපවාහිනියේ සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් කි‍යා සිටියේ, දිනකට පරීක්ෂණ 5,000ක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතවේදී අංශය නිගමනය කර ඇති බවයි. (පටිගත කල වීඩියෝ පටයේ 26.08 විනාඩිය). එම වැඩසටහනට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ජේෂ්ඨ නිලධාරියෙකු පරීක්ෂණ වැඩි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කලා පමණක් නොව, වසංගතවේදී ඒකකයේ ගණනය කිරීම් ප්‍රතික්ෂේප කලේද නැත. එබැවින් එම සංඛ්‍යාවන්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකාරීත්වයට තිබුනු බව අප උපකල්පනය කල යුතුයි.

මේ අවස්ථාවේදී, එක රැයකින් එලෙස පරීක්ෂණ කිරීම විශාල ප්‍රමාණයකින් වැඩි කිරීම සිදුවිය නොහැකි බව අපි මෙන්ම අනෙක් අයද තේරුම් ගෙන ඇත්තෙමු. ඒ සඳහා, නව යන්ත්‍ර ගෙන ඒම, ද්‍රව්‍ය සැපයුම් දාමයන් තෝරා බේරා ගැනීම සහ රසායනාගාර සහ කාර්ය මණ්ඩලය ස්ථානගත කිරීම සහතික කිරීම සඳහා ක්‍රමානුකූල උත්සහයන් අවශ්‍යය. මැයි 1 වන දිනවන විට එම වැඩිපුර සංඛ්‍යාවන් කරා ලඟා වීමට ගත යුතු ක්‍රියාමාර්ග් පිලිබඳව අපගේ අප්‍රේල් 6 වන දින වාර්තාවෙන් යෝජනා කළෙමු. මෙය සිදු නොවූ අතර, එලෙස පරීක්ෂණ වැඩි කිරීමට අපොහොසත් වීම මෑතකදී ආසාදිතයන් වැඩිවීමට දායක විය.

පසුගිය සතිය තුළ පරීක්ෂණ සංඛ්‍යාව දිනකට 1,400කට වඩා වැඩිවී ඇතත්, ප්‍රජාව තුල ආසාදන සම්ප්‍රේශනය වේගයෙන් අඩුකිරීමට අවශ්‍ය සංඛ්‍යාවට වඩා තවමත් බොහෝ සෙයින් අඩුය. මෑතදී ඇතිවූ වැඩිවීම බොහෝ සේ ප්‍රතික්‍රියාශීලී වන අතර, මෙය අප්‍රේල් අගදී ඇතිවූ විශාල පොකුරු දෙක හේතුවෙන් ඇති වූවකි. අවාසනාවකට මෙන්, එහි ප්‍රතිඵලයකි ලෙස ඇතිවන විෂම චක්‍රයක් ඇත.-ප්‍රමාණවත් පරීක්ෂණ නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෛරසය පැතිරීම වැඩිවන අතර, ඒ තුළින් ආසදිතයින් සංඛ්‍යාව වැඩිවී, ඒවා පාලනයට පරීක්ෂණ අවශ්‍යතාවයද වැඩි වේ. 

මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතවේදීන් විසින් අවබෝධ කරගෙන ඇති බව පෙනේ. තත්වය තවත් බරපතල අතට හැරෙයි නම්, දිනකට කරන පරීක්ෂණ ප්‍රමාණය 6,000 දක්වා (මාසයකට පෙර අප කළ ඇස්තමේන්තුවට සමානව) වැඩි කළ යුතු බව වසංගතවේදී ඒකකයේ විශේෂඥයින් ඇමතිතුමියට මැයි 1 වන සිකුරාදා දැනුම් දෙන ලදී. 

නව ආසාදිතයින් හේතු කොටගෙන පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාව තවත් ඉහළ ගියහොත්, අපට බරපතල ධාරිතා ගැටළු වලට මුහුණ දීමට සිදු වනු ඇත. රට පුරා සෞඛ්‍ය අමාත්‍යංශයේ, විශ්ව විද්‍යාල සහ පෞද්ගලිම අංශයේ විද්‍යාගාර වල සේවය කරන රසායනාගාර විශේෂඥයින් සෑම දිනකම මධ්‍යම රාත්‍රියත් පසු කරමින් බොහෝ දෙනෙක් දිනපතා සේවය කරන අතර වර්තමාන අවශ්‍යතාවය සපුරාලීම සඳහා දෛනික ගැටළු සමග පොර බදිති. රසායනාගාර කාර්ය මණ්ඩලය අධික වෙහෙසට පත්වීම සහ ආසාදන තත්වයන් නිසා ඔවුන් හුදකලා කිරීමේ අවදානම සත්‍ය වශයෙන්ම පවතී.

මුලදී, බොහෝ දෙනෙක් සිතුවේ අපගේ සීමිත දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉක්මවා නොයන මට්ටමක ආසදිතයින් පාලනය කිරීමේ ඉලක්කය පිළිබඳවයි. මට සිතෙන්නේ මෙය වැරදි ඉලක්කයක් බවයි. අපගේ පරීක්ෂණ ධාරිතාවට දරාගත හැකි මට්ටමකට ආසාදන සංඛ්‍යාව වඩාත් අඩුවෙන් පවත්වා ගත යුතුය. 

ඊට පරස්පරව, අනාගත පරීක්ෂණ සංඛ්‍යාවන් අඩුවෙන් පවත්වා ගැනීමට නම්, අප දැන් පරීක්ෂණ වැඩියෙන් කල යුතුයි. ප්‍රජාව තුළ සැඟවුන ආසාදිතයන් සොයා ගැනීම වැඩිකිරීම සහ අනාගත ආසාදිතයින් වලක්වා ගැනීම කළ හැක්කේ, ආක්‍රමණශීලී ආවේෂණය සඳහා පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් පමණි. වෛරසය පැතිරීම තවදුරටත් අඩුකිරීම සහ සමස්ථ ආසාදන සංඛ්‍යාව අඩුවෙන් පවත්වා ගැනීම කළ හැක්කේ එසේ කිරීමෙන් පමණි.

හොංකොං, තායිවානය සහ වෙනත් රටවල කොවිඩ් පාලනය කිරීමේ මුඛ්‍ය සාධකය මේ ආක්‍රමණශීලී පරීක්ෂණ කිරීමයි. එතැනට යාමත නම් අපගේ රසානාගාර කාර්ය මණ්ඩලය වෙහෙස මහන්සි වී වැඩ කරනවාට වඩා වැඩි යමක් අපට අවශ්‍යය. ප්‍රජාව තුළ සාමාන්‍ය රෝගීන් පරීක්ෂා කිරීම පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති අවශ්‍ය වේ. ඔවුන්ගේ ගමන් ඉතිහාසය හෝ කොවිඩ් ආසාදිතයන්ට නිරාවරණය වීම හෝ නොසලකා තෝරාගත් ශ්වසන රෝග ලක්ෂණ සහිත සියළුම රෝගීන් අනිවාර්ය පරීක්ෂණ වලට භාජනය කිරීම මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මේ අවස්ථාවේදී මෙය සිදු නොවන අතර, ඒ නිසා පරීක්ෂණ සංඛ්‍යාවන් අස්වාභාවික ලෙස පහත හෙලී ඇත. අප මෙය නිවැරදි කරන තුරු වෛරසය වේගයෙන් පැතිරීමේ අවදානමට අප මුහුණ දෙන අතර, එහි ප්‍රථිඵලයක් ලෙස අපගේ පරීක්ෂණ ධාරිතාව කෙරෙහි වැඩි පීඩනයක් ඇති කෙරෙනු ඇත. 

පරිවර්තනය: වෛද්‍ය සරත් සමගේ

2020 අප්‍රියෙල් 6 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.

 

Leave a Reply