ජාතික COVID PCR පරීක්ෂණ අවශ්‍යතා පිළිබඳ අපගේ ඇස්තමේන්තු – හැඳින්වීම

2020 නොවැම්බර් 9 – යාවත්කාලීන කිරීම

2020 අප්‍රේල් මාසයේ අප විසින් සකස් කරන ලද මෙම ඇස්තමේන්තු කිසි විටෙකත් ක්‍රියාත්මක නොවූ බැවින් අපට දැන් වඩා ඉහළ මට්ටමේ පරීක්ෂණ ධාරිතාවක් අවශ්‍ය වී තිබේ. මෙම පැහැදිලි කිරීම බලන්න. අපට හැකි සෑම විටම යාවත්කාලීන ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අපි උපරිමයෙන් උත්සාහ කරන්නෙමු.

ශ්‍රී ලංකාවට අද වඩාත්ම හදිසි අවශ්‍යතාව වී තිබෙන්නේ පරීක්ෂණ අනුපාතය වැඩි කිරීම යි. දිනකට පරීක්ෂණ 250 ක් පමණ වන වර්තමාන පරීක්ෂණ අනුපාතය එක හෙළා ප්‍රමාණවත් නොවේ. එය භූතානය, මාලදිවයින සහ වියට්නාමය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා බෙහෙවින් අඩු ය. අප කොපමණ ප්‍රමාණයක් පරීක්ෂා කළ යුතුදැයි බොහෝ අය අපෙන් විමසා ඇත. අප්‍රේල්  මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු RT-PCR පරීක්ෂණ ධාරිතාව අරභයා අපගේ මුලික ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු මම මෙහි පළ කරන්නෙමි. එසේ කිරීමට පෙර, ආරම්භක වචන කිහිපයක්.

පර්යේෂකයන් වශයෙන්, අපි සාමාන්‍යයෙන් බොහෝ වාක්‍ය සහ දත්ත සමඟ දිගු වාර්තා ලියන්නෙමු. අනෙක් විද්‍යඥයින් සතුටින් තබා ගැනීම සඳහා, අප පවසා දක්වන සෑම කරුණක්ම තහවුරු කිරීමට බොහෝ මූලාශ්‍ර  සපයන්නෙමු. මෙම බ්ලොගය සඳහා, මම එය කර නැත. සෑම කෙනෙකුටම කියවා තේරුම් ගැනීම පහසු කිරීම සඳහා, මම සරල භාෂාව භාවිතා කිරීමට උත්සාහ කර ඇත්තෙමි, ඕනෑවට වඩා සංඛ්‍යා භාවිතා කිරීමෙන් වැළකී සිටිමි. මෙසේ කිරීම හා එය කෙටියෙන් තබා ගැනීම අසීරුය  – දිගු තාක්ෂණික වාර්තා ලිවීමට වඩා අසීරුය!

මෙම ඇස්තමේන්තු සඳහා, අපි තාක්ෂණික තොරතුරු සපයන්නෙමු, එබැවින් වෙනත් විශේෂඥයින්ට අපගේ සංඛ්‍යාත ලබාගත්තේ කෙසේදැයි වටහා ගත හැකි අතර විවේචනය කිරීමටද හැකියාව ඇත. ඒවා වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් අපට ප්‍රතිචාර සහ සංශෝධන ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. අප ඉදිරිපත් කරන කරුණු වල යම්කිසි සාවද්‍යතාවයක් ඇත්නම් එය අප හට දන්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. අපගේ එකම ඉලක්කය වන්නේ හොඳම තීරණ ගැනීමට රටට සහය දැක්වීමයි.

රවී (IHP කණ්ඩායම වෙනුවෙන්)

2020 නොවැම්බර් 9 දින යාවත්කාලීන කරන ලද: පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.