සැබෑ නායකත්වයක් පෙන්වූ බ්‍රැන්ඩික්ස් ආයතනයට අපගේ ප්‍රණාමය!

කොවිඩ්-19 අර්බුදයට ප්‍රතිචාර වශයෙන් විධායක මට්ටමේ වැටුප් විශාල වශයෙන් කප්පාදු කරන බව බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක අෂ්රොෆ් ඕමාර් සිය කාර්ය මණ්ඩලයට පැවසීය. ප්‍රධාන විධායක නිලධාරි ඕමාර් මහතාගේ සහ සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සමාජීකයන්ගේ වැටුප් බ්‍රැන්ඩික්ස් සමාගම මාස 6 කට අත්හිටුවනු ඇති අතර සියලු කළමනාකරුවන්ගේ වැටුප 5% සිට 60% දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

ලොව පුරා විශාල ව්‍යාපාර, විශේෂයෙන් ගුවන් සමාගම්, මාස ගණනාවක් තිස්සේ මෙය අනුගමනය කරමින් සිටියි. ඉහළ ලාබදායී (සහ රජය සතු) සිංගපුරු ගුවන් සේවය සති කිහිපයකට පෙර කාර්‍ය මණ්ඩල වැටුප් කප්පාදු කිරීම සහ තාවකාලික වැටුප් රහිත නිවාඩු ලබා දීම ආරම්භ කල අතර, එතැන් සිට මෙම වැටුප් කප්පාදුව  වැඩි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් අපගේ විශාලතම අපනයනකරුවා වන නමුත් ලොව පුරා ඉල්ලුම පහත වැටීම එයට තදින්ම බලපානු ලබයි. අනෙක් බොහෝ සමාගම් සඳහාද මෙම තත්වය බෙහෙවින් අසතුටුදායක වනු ඇත. රැකියා අහිමි වීම වැළැක්විය නොහැකි අතර ව්‍යාපාරවල මුදල් අහවර වී බංකොළොත් තත්වයකට ඇද වැටෙනු ඇත.

අපගේ ආර්ථික පදනම නොනැසී පවත්වා ගැනීමට නම්, ව්‍යාපාරවලට ඔවුන්ගේ මුදල් පිටතට ගලායාම අවම කිරීම සඳහා දැඩි පියවර ගත යුතුය. සේවකයින් සේවයෙන් පහ කිරීම හෝ ව්‍යාපාරය බංකොලොත් වීම සිදු විය හැකි නරකම ප්‍රතිඵලයයි. දශක ගණනාවක් තිස්සේ බදු කපා හැර ඇති අපගේ රජයට, ඇප දී සමාගම් ගලවා ගැනීමට හෝ රැකියා අහිමිවන සේවකයින්ට දීමට මුදල් හැකියාවක් නොමැත.

වැටුප් කැපීම හොඳම විකල්පය වේ. නමුත් ඉහළම වැටුප් ලබන කාර්ය මණ්ඩලය ආදර්ශයක් නොපෙන්වා, යම් ආදායමක් අවශ්‍යම, අඩුවෙන්ම වැටුප් ලබන අයට කැප කිරීම් කරන ලෙස කීමට කළමනාකරුවන්ට නොහැකි වනු ඇත. මුදල් සුරැකීම සඳහා කොටස්කරුවන්ගේ ලාභාංශ කපා හැරීමද මෙයින් අදහස් වේ.

අප සැවොම යම් වේදනාවක් බාරගත යුතුයි. වඩාත්ම අවදානමට ලක්වුවන් ආරක්ෂා කිරීමත්, වඩා හොඳ තත්වයක සිටින අය වැඩි බරක් ඉසිලීමත් සිදුවුවහොත් ජනතාව මෙය බාර ගනු ඇත.

ඉතින්, ඔබට ස්තුතියි බ්‍රැන්ඩික්ස්! නියම ආයතනික සමාජ වගකීම යනු ආදර්ශය තුලින් දෙන ඒ නායකත්වයයි. තවමත් එලෙස කටයුතු කර නොමැති නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන මගේ බලාපොරොත්තු සුන්වී යයි. එය පවත්වාගෙන යෑමේ වගකීම එහි කාර්‍ය මණ්ඩලයේ නොව, අනෙක් සියලු-බදු ගෙවන්නන් හා මහජනතාව බව ඔවුන්ගේ ප්‍රතිපත්තිය සේ පෙනේ. ඔවුන් සහ පාඩු ලබන අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයන්, මේ බ්‍රැන්ඩික්ස් සහ සිංගප්පුරු ගුවන් සමාගම පෙන්වා ඇති ආදර්ශය සැලකිල්ලට ගැනීමට දැන් කාලය එළඹ ඇත.

මම දේශපාලනයෙන් වැළකී සිටින බැවින්, ඔවුන් කළ යුතු දේ පිළිබඳව මම ජනාධිපතිවරයාට, ඇමැතිවරුන්ට සහ අපගේ තේරී පත් වු අනෙකුත් නියොජිතයන්ට උපදෙස් දීමෙන්ද වැළකී සිටිමි..

වෛද්‍ය රවී රනන් එළිය
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ