කොවිඩ්-19 රෝගීන් සොයන පරීක්ෂණ වැඩි කිරිම වඩා ඵලදායී බව පිරිවැය ප්‍රතිලාභ විශ්ලේශණය පෙන්වා දෙයි.

අගුලු දැමීම (ජාතික ඇඳිරි නීතිය, නිවසේ සිට වැඩ කිරීම, පාසැල් වසා දැමීම) සහ විදේශයන්හි සිට පැමිණෙන්නන් ඇසුරු කල අය සක්‍රියව සොයා යෑම වර්තමාන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සාර්ථක විය හැකි අතර දින 10 ක් ඇතුලත නව ආසාදිතයින් බිංදුව දක්වා ගෙන ඒමට හැකි වනු ඇත.නවතම දත්තවල එය සිදුවන බවට ලකුණු තිබේ. 

වෛරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාය මාර්ග වලට හැකි වනු ඇත. නමුත්, එය ප්‍රමාණවත් නොවන අතර දිගටම දරාගත නොහැකි විය හැකිය. ආර්ථිකය ඇණ හිට ඇත, විරැකියාව ඉහළ යනු ඇත, ව්‍යාපාර බංකොලොත් වනු ඇත,  ජීවන තත්වයන් පහත වැටෙනු අතර රජයට ආදායම නැතිව යනු ඇත. සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ කිරීමට සහ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ව්‍යාපාර සහ පාසල් නැවත විවෘත කිරීමට අප ඉඩ සලසා දිය යුතුය.

මාර්තු 26 දක්වා සෑම දිනකම තහවුරු කල අළුත් රෝගීන් සංඛ්‍යාවේ ප්‍රවනතාවය පහත ප්‍රස්ථාරයේ දැක්වේ.කළු රේඛාව චලනය වන සාමාන්‍යය පෙන්නුම් කරයි. 

දෛනික අළුත් රෝගීන් වාර්තාවීම


සීමිත පදනමක් මත වුවද අපගේ වරාය විවෘත කළ යුතුය. වෛරසය දැන් ලෝකයේ සෑම රටකටම ව්‍යාප්ත වී ඇති බැවින්, විදේශිකයන්ට පැමිනීමට ඉඩ  දීම තුලින් යලිත් වෛරසය රට තුලට ඇතුළු වීමට ඉඩ ඇත. මෙම තත්වය ඉදිරි මාස 12 දක්වා වෙනස් නොවනු ඇත. අපි ගුවන් තොටුපල විවෘත කර, ව්‍යාපාර හා පාසැල් විවෘතව තැබුවහොත් වෛරසය නැවත ඇතුල්වී තව අලුත් වසංගතයකට මුල පුරනු ඇති අතර නැවත වරක් ගුවන් තොටුපල වසා දමා ඇඳිරි නීතිය පැනවිම හැර වෙන විකල්පයක් රජයට නොවෙනු ඇත. 

අපගේ ගුවන් තොටුපල විවෘතව තබා ගැනීමට සහ ව්‍යාපාර සහ පාසැල් විවෘතව තබා ගැනීමට ඉඩ සලසන එකට විසඳුම වන්නේ අපගේ පරීක්ෂණ ධාරිතාව හා ආසාදිතයන් හා සම්බන්ධතා පැවැත්වුවන් සොයා ගැනිමේ ධාරිතාව විශාල ලෙස පුලුල් කිරීමයි. සිංගප්පුරුව, හොංකොං, තායිවානය හා වියට්නාමය වැනි කොව්ඩ්-19 ව්‍යාප්තිය පාලනය කර ඇති රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ පරික්ෂණ අනුපාත ඉතා අඩු මට්ටමක පවතී. එය වියට්නාමයේ අනුපාතයෙන් හතරෙන් එකක් වන අතර හොංකොං අනුපාතයෙන් අටෙන් එකකි.

ජනගහනය මිලියනයකට කළ කොවිඩ්-19 පරීක්ෂණ ගණන

මෙම සංසන්දනය හැරුනු විට, අප ඉතා සුළු පිරිසක් පරීක්ෂා කරන බවට තවත් දර්ශකයක් වන්නේ, ලෝකයේ වඩාත්ම ඵලදායී කොරෝනා පාලන උපායමාර්ග ඇති සිංගප්පුරුවේ සියයට එකක් හා සසඳන විට ශ්‍රී ලංකාවේ පරීක්ෂණ දහයෙන් එකක් පමණක් ධනාත්මක වී ඇති බවය.

සිංගප්පුරුවේ හා කොරියවේ මෙන්, වඩාත් පුළුල් ලෙස පරීක්ෂණ කිරීමෙන්, වෛරසය නැවත පැමිණීමේ අවදානම කළමනාකරණය කිරීමට අපට ඉඩ සලසයි. තවද, වසංගතයක් ඇති වන බව කල් ඇතිව සෞඛ්‍ය බලධාරීන්ට දැනගත හැකිවනු ඇත. මේ තුලින් ඉතා ඉක්මනින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටත්, අගුලු දැමීම අවම කිරීම හෝ වලක්වා ගැනීමටත් හැකි වනු ඇත.

පරීක්ෂණ කිරීම පුළුල් කිරීම යනුවෙන් අදහස් වන්නේ අපගේ කොරෝනා පරීක්ෂණ කිරීමේ ධාරිතාව අවම වශයෙන් දස ගුණයකින් වැඩි කිරීම තුලින්, හදිසි අවස්ථාවකදී දිනකට පුද්ගලයින් 10,000 දක්වා පරීක්ෂා කිරීමට හැකි වීමයි.

මෙය පැහැදිලිවම වර්තමාන ක්‍රමෝපායන්ට වඩා විශාල පිරිවැයක් දැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවේ. සෞඛ්‍ය අවදානම් ගැන සලකා බැලීම  සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්‍ය්භාරය වන අතර, ඕනෑම ක්‍රියාදාමයක් තුලින් සමාජයේ සියලු දෙනාටම ලැබෙන සම්පුර්ණ පිරිවැය-ප්‍රතිලාභ සලකා  බැලීම රජයේ වගකීමකි. වර්තමාන ගමන් බිමන් සීමා කිරීම සහ සීමාසහිත පරීක්ෂණ පැවැත්විමේ ප්‍රතිපත්තිය තුලින් ශ්‍රී ලංකාවේ මෙම වසංගතය මර්දනය කල හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීම නිවැරදි වනු ඇත. ඔවුන් නිවැරදි වනු ඇත. එහෙත් ශුද්ධ ආර්ථික පිරිවැය සිංගප්පුරුව භාවිතා  කරන විකල්ප ප්‍රවේශයට වඩා විශාල වනු ඇත. 

ප්‍රජාව තුල කෙරෙන වඩාත් ව්‍යාප්ත පරීක්ෂණ, ගුවන් තොටුපලේ වඩාත් ශක්තිමත් පරීක්ෂාවන් සහ සීමාකිරීම් සමඟ අඛණඩ නිරෝධායනය, හුදකලා කිරීම සහ සම්බන්ධතා සොයා ගැනිමේ පියවර ආර්ථිකයට අවම පිරිවැයකින්  අපේක්ෂිත සෞඛ්‍ය පරමාර්ථ සපුරා ගැනීම සඳහා හොඳම සංයොජනය සපයයි. ඒ සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මහා භාණ්ඩාගාරය විසින් උපායමාර්ග පිළිබඳව සුදුසු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කිරීම අවශ්‍ය වේ.

වෛද්‍ය රවී රන්නන්-එලිය
විධායක අධ්‍යක්ෂක
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ