කොරෝනා අර්බුදය ඉක්මනින් අවසන් නොවන ලකුණු-අප දිගු සටනකට සුදානම් විය යුතුයි.

වර්තමාන අගුලු දැමීම (අප රටට පමණක් නොව ලොව පුරා බිලියන 2ක ජනතාවට බලපාන) තුලින් කොවිඩ්-19 කොතරම් බරපතලද යන්න සෑම කෙනෙකුටම පැහැදිලි විය යුතුයි. බොහෝ දෙනා තවමත් තේරුම් ගෙන නැත්තේ ගුවන් තොටුපල වසා දැමිමෙන් සහ මාසයක් අගුළු දැමිමෙන් පවා මෙම ගැටලුව පහව නොයන බවය.

මුලින්ම යහපත් ආරංචිය පැහැදිලි කළහොත්- වර්තමාන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ නිවැරදි මාවතට අප අවතීර්න වී ඇති බව පෙනි යයි. මේ දක්වා වාර්තා වූ බොහෝමයක් රෝගීන් විදේශයන්හි සිට ආපසු පැමිණි අයවලුන් හා සම්බන්ධ අතර, ශ්‍රි ලාංකීය ප්‍රජාව තුල පැතිරීම අල්පය.

අප මේ දැනට පනවා ඇති අගුලු දැමීමෙන් මිදුනු පසුත් අවම වශයෙන් මාස 12ක් ගතවන තෙක් ජන ජීවිතය යථා තත්ත්වයට පත් නොවනු ඇත. මෙම දිගු කාලීන අපහසුතාවයට මුහුන දීමට ජනතාව සූදානම් කිරීමට, රටේ නායකයින් තත්ත්වයඔවුනට පැහැදිලි කර දිය යුතුයි. මෙවන් අවස්ථාවක වින්ස්ටන් චර්චිල් කියූ වචන වලින් කිවහොත්, “දැනට තිබෙතන් තත්ත්වයපරාජය කිරීම අවසානය නොවේ. එය අවසානයේ ආරම්භයද නොවේ. නමුත් එය සමහරවිට ආරම්භයේ අවසානය විය හැකිය.”

දිගුකාලීන උපාය මාර්ගය කුමක්ද යන්න පිලිබඳව මහජනයා විශ්වාස කිරීමට කිසිදු උත්සාහයක් නොමැති විට, මෙම අපේක්ෂාවන් පිලිබඳ විශේෂඥ තක්සේරුවක් මෙහිදී ලබා දෙන්නෙමි.

ඉදිරි මාස කිහිපය තේරුම් ගැනීමට ඔබ දැනගත යුතු ප්‍රධාන කොවිඩ්-19 පිලිබඳ කරුණු පහක්.

  1. කොවිඩ්-19 සෙම්ප්‍රතිශ්‍ය, උණ වෛරසයට සමාන හෝ ඊට වඩා වැඩි බෝවන සුලු ගතියක් දක්වයි.
  2. කොවිඩ්-19 පැතිරිමට මිනිසුන් අතර සමීප සම්බන්ධතාවයන් අවශ්‍යය. සමීප සම්බන්ධතාවයන් අඩු කිරීමට සමාජ දුරස්ථභාවය ඇතිකිරීමෙන් රෝගය පැතිරීම අඩු කරයි.
  3. විශාල පරිමාණයේ වසංගතයන් ඇතිවු චීනය සහ ඉතාලිය වැනි රටවල්ද ඇතුළුව ජනතාවගෙන් 99% කට වඩා එයට ඔරොත්තු දියහැකි ප්‍රතිශක්තියක් නොමැත.
  4. 2021 මාර්තු මාසයට පෙර එන්නතක් නොලැබෙනු ඇත.
  5. හොඳ වෛද්‍ය ප්‍රතිකාර සහිතව ආසාදිත පුද්ගලයින් 300 කින් එක් අයෙකු මිය යනු ඇත. නමුත් සංවාහනය හා දැඩි සත්කාර සැපයීමේ රෝහල් ධාරිතාව ඉක්මවා ගියහොත් මෙය 20 කට එකක් හෝ ඊට වැඩි ගණනක් දක්වා වැඩිවේ.

එහි “අධික බෝවීමේ හැකියාව හා මීට පෙර නිරාවරණය හෝ ප්‍රතිශක්තියක් නොමැතිකම” යන්නෙන් අදහස් වන්නේ කිසිවෙකු ඔවුන්ගේ හැසිරීම වෙනස් නොකළේ නම් (එය තවදුරටත් සත්‍ය නොවේ), කොවිඩ්-19 ලෝක ජනගනයෙන් 90% ක් ආසාදනය කර මේ වසරේ මිලියන 40 ක් මරා දමනු ඇත. නවතම අනාවැකි වලට අනුව ලබන වසර වන විට එක්සත් රාජධානිය හෝ එක්සත් ජනපදයේ මිලියන දෙකකට වඩා මිය යනු ඇත.
මේ ලක්ෂණ වලට අනුව, කොවිඩ්-19 ඕනෑම රටක පැහැදිලි අදියර දෙකකින් ව්‍යාප්ත වෙයි. තවද, මේ දක්වා ගෝලීය තරංග දෙකකින් ආසාදනය පැතීරි ඇති අතර, ඉදිරියට තවත් ඇතිවනු ඇත.

කෝවිඩ්-19 පැතිරීමේ අදියර දෙක

රටක ආසාදිත රෝගීන් සංඛ්‍යාව කුඩා නම් (සියයකට අඩු) පරික්ෂණ තුලින් ආසාදිත රෝගීන් හඳුනා ගැනීම හා ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වු අය සොයා පරික්ෂණ වලට භාජනය කර හුදකලා කිරීමත් යන ක්‍රමානුකූල ප්‍රවේශයන් තුලින් පැතිරීම පාලනය කර ගත හැක. මෙය පරික්ෂණ කිරීම හා සම්බන්ධවුවන් සොයා යන අදියරයි. සිංගප්පුරුව, හොංකොං සහ තායිවානය වැනි රටවල් කිහිපයක් ද හුබෙයි නගරය හැර චීනයේ බොහෝ පළාත්ද මේ ආකාරයෙන් වසංගතය මෙම අවධියේ තබා ගැනීමට සමත් වී ඇත. ඔවුන් සාමාන්‍යයෙන් සම්පුර්ණ අගුලු දැමීම් මගහරියත්, සෑම විටම පාසල් වසා නොදැම්මත්, චර්යාවන් වෙනස් කිරිම හා වෙනත් සමාජ දුරස්තකරණ පිළිවෙත් අවධාරණය කරන ලදී.

ගෝලීය රැල්ල සාර්ථකව පාලනය කල සිංගප්පුරුවේ හා තයිවානයේ කොවිඩ්-19 පැතිරීම- මාර්තු 15 දක්වා නව රෝගීන් වාර්තා වූ ආකාරය

සටහන: මෙහි තිර මගින් මාර්තු මැද වනතෙක් දිනපතා හඳුනාගත් නව රෝගීන් ගණන දැක්වේ. කලු රේඛාවෙන් දිනපතා හඳුනාගත් නව රෝගීන් ගණනෙහි දිනපතා අඩු වැඩි වීම සුමට කරන ලද ඇස්තමෙන්තුවක් පෙන්නුම් කරයි. ජෝන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුසාරයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කල විශ්ලේෂණයකි.

පරීක්ෂා කිරීම සහ ආසාදිතයන් හා සම්බන්ධ වූවන් සොයා යෑම ආක්‍රමණශීලීව සිදු නොකලහොත්, වසංගතය ප්‍රජාව තුළ වේගයෙන් පැතිර යන දෙවන අදියරට පිවිසෙයි. වෛරසය ගුණාකාරව පැතිරෙන අතර, සෑම දින 3-5කට වරක් නව රෝගීන් ගණන දෙගුණ වේ. සෑම දින පහකට වරක් දෙගුණ වන්නේ නම්, නව රෝගීන් ගණන දිනකට 100 සිට මසකදී එම ගණන දිනකට 6,000 දක්වාත්, මාස දෙකකට පසුව 300,000 දක්වාත් වැඩිවේ. මෙවැනි ව්‍යාප්තියකදී පරීක්ෂා කිරීම සහ සම්බන්ධ වූවන් සොයා යෑම නිෂ්ඵල වේ. අධික රෝගීන් සංඛ්‍යාව නිසා රෝහල්වල ධාරිතාව ඉක්මවා යයි, සීග්‍රයෙන් මරණ සංඛ්‍යාවද වැඩිවේ. ඉතාලිය, එක්සත් ජනපදය සහ යුරෝපයේ බොහෝ රටවල් දැන් මෙම අදියරට පැමිණ ඇත. ජනවාරි මාසයේදී චීනයේ හුබෙයි පළාතද තිබුනේ මේ තත්වයේයි.

වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය ඇති අදියරට පිවිසි එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ කෝව්ඩ්-19 පැතිරීම- මාර්තු 15 දක්වා නව රෝගීන් වාර්තා වූ ආකාරය.

මෙම සීග්‍ර ව්‍යාප්තිය ඇති අදියරේදී, සාමාන්‍ය ජීවිතයට අගුලු දැමීම හා ජනතාව සති කිහිපයක් නිවෙස්වලට සීමා කිරීමෙන් පමණක් වෛරසය පැතිරීම අඩුකර ගත හැකි අතර නැවතත් පරීක්ෂණ කිරීම හා රෝගීන් හා සම්බන්ධ වූවන් සොයා යෑම කෙරෙන පලමු අදියරට ආපසු යා හැක. මෙම අගුලු දැමීම තදබල ලෙසටත්, දීර්ඝ කාලයකටත් (සති ගණනින් නොව මාස ගණනින් ක්‍රියාත්මක කලහොත් වෛරසය මර්දනය කල හැක. චීනයේ හුබෙයි පලාතේ සිදුවුයේ මෙයයි. එහි අගුලු ලා මාස 2කින් පසු අලුත් රෝගීන් ගණන බිංදුව දක්වා අඩු විය. කොරියාව විසින් හඳුනාගත් විශේෂ ප්‍රදේශ වලට අගුලු දැමීමත් සාර්ථක වූ අතර, රෝගීන් ගණන පාලනය කරගත හැකි මට්ටමකට අඩු විය.

වසංගතයේ සීග්‍ර ව්‍යප්තිය සිදුවන අදියරදී එය සාර්ථකව පරාජය කල චීනයේ හා කොරියාවේ කෝවිඩ්-19 ව්‍යාප්තිය- මාර්තු 15 දක්වා නව රෝගීන් නව රෝගීන් වාර්තා වූ ආකාරය

ඕනැම රටක රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන අවධියට පිවිසෙන විට අගුලු දැමීම නොවැලැක්විය හැකි බව පසුගිය සති කිහිපය තුල අපි ඉගෙනගත්තෙමු.අගුලු දැමීම ඉතා විශාල සමාජ හා ආර්ථික කඩාවැටීමට හේතු වේ. මෙයට බියවන බොහෝ රජයන් පිරිවැය විශාල යැයි සිතා අගුලු දැමීම නතරකර ඇත. ඇතැමෙක් වෛරසයේ අනාගතරැලි වලින් ආරක්ෂා වීමට ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ගොඩනගා ගැනීම තුලින්, වසංගතය පලවා හැරීම පිළිබඳව අදහස් ඇතිව සෙල්ලම් කරති. රෝහල් වල ධාරිතාව ඉක්මවා රොගීන් ඉහල යාම හා වැඩිවන මරණ සංඛ්‍යාව පිළිබඳ යථාර්ථයට මුහුණ දුන් ඔවුන් එම අදහස අත්හැර ඇත. ඒ සදහා මෙම වසංගතය පාලනය නොකලහොත්, දෙවන ලෝක සංග්‍රාමයෙන් මියගිය අයට වඩා බ්‍රිතාන්‍ය වැසියන් අවුරුද්දක් තුල මියයන බව බ්‍රිතන්‍ය නායකයන්ට ඒත්තු ගැන්වීමට සිදුවිය. මේ සම්බන්ධයෙන් චීනය හා බටහිර රජයන් අතර ඇති එකම වෙනස නම්, තම ජනතාව ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනිමට තීරණය කිරීමට පෙර බටහිර රජයන් චීනයට වඩා තම පුරවැසියන් වැඩි දෙනෙකු මියයාමට ඉඩ හැරීමයි.

මේ දක්වා වසංගතයේ ගෝලීය අදියර දෙකක්

අවසානයේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීම සියලු රජයන්ට නොවැලැක්විය හැකි වූ බැවින්, සීග්‍ර ව්‍යාප්ති අදියර හමාර වන්නේ වැඩිම වුවහොත් ජනගනයෙන් 3% පමණක් ආසාදනයට ලක් කරමිනි. මෙයින් අදහස් වන්නේ ජනගනයෙන් 97% ප්‍රමාණවත් ප්‍රතිශක්ත්තියක් නැතිව සිටීම නිසා අගුලු දැමීමට පෙර මෙන් වෛරසයට සීග්‍රයෙන් පැතිරීමට හැකිවෙයි. පාලන ක්‍රියාමාර්ග කුමන හෝ අදිරයකදී ඉවත් කල විට, වෛරසය මුලුමනින්ම තුරන් වී නොමති විට හෝ පිටතින් නැවත පැමිණෙන විට,වෛරසය පෙර මෙන් දරුණු ලෙස වසංගත තත්ත්වය නැවත ආරම්භ කරයි. මෙයින් අදහස් කරන්නේ, මුළු ලෝකයම, එකවර කොවිඩ්-19 තුරන් නොකලහොත්, ඊලග වසර තුලදී අපට ආසදන වටයන් (මාස 2-3 පමණ පවතින) රැසකට මුහුණ දීමට සිදුවන බවය. අපට ඵලදායී එන්නතක් ලැබෙන තුරු මෙය දිගටම පවතිනු ඇත.

අප දැන් සිටින්නේ දෙවන වටයේ ගෝලීය ආසාදන රැල්ලේය. පළමු රැල්ල බීජ ගත කෙරුනේ ජනවාරි සහ පෙබරවාරි මුලදී චීනයෙන් පිටත්ව ගිය සංචාරකයින් විසිනි. ආක්‍රමණශිලි පරීක්ෂණ සහ වෙන්කර තැබීම (සිංගප්පුරුව, තායිවනය, හොංකොං), අගුලු දැමීම (චීනය ) සහ ප්‍රවාහනයසීමා කිරීම් (ශ්‍රී ලංකාව ) තුලින් රටවල් කිහිපයක මෙම පලමු රැල්ල සාර්ථකව මර්දනය කරන ලදී. අවාසනවකට මෙන්, වෙනත් රටවල් විසින් සිදුකරන ලද ප්‍රමාදයන්, යුරෝපයේ, ඉරානයේ සහ වෙනත් තැන්වල විශාල ව්‍යාප්තියන් වලට තුඩු දුන් අතර, මෙම රටවල් එතැන් සිට දෙවන ගෝලීය ආසාදන රැල්ලක් ඇති කර තිබේ.

පළමු චීන රැල්ලට වඩා බොහෝ වෛරස රෝගීන් මෙම දෙවන රැල්ල ලොවට අපනයනය කර ඇත. පලමු රැල්ල මර්ධනය කල රටවල්, පසුව යුරෝපීය සංචාරකයින් නැවැත්වීමට අපොහොසත් වූ නිසා, ඔවුන් සියල්ලම දෙවන විශාල ආසාදන රැල්ලකට මුහුණ දී ඇත.-මෙයට චීනය, සිංගප්පූරුව, තායිවානය හා ශ්‍රී ලංකාව ඇතුලත් වේ. මෙම තත්ත්වය අන්තර්ජාතික සංචාරකයන් පැමිණීම සඳහා වන දේශසීමා එකින් එක වසා දැමීමට රටවල් වලට බලකර ඇත- මෙයට ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ දැන් චීනය පවා ඇතුලත් වේ.

අපේක්ෂාවන්

මෙම වසංගතය අපව 2021 වන විට ඉතා බරපතල තත්වයකට ඇද දමනු ඇත. එක්සත් ජනපදය, යුරෝපය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්, ඔවුන්ගේ දේශසීමා තුළ වෛරසය තුරන් කිරීමට ප්‍රමාද වූවා වැඩි විය හැකිය. මෙම රටවල ආසාදන අනුපාතිකය චීනයට වඩා බොහෝ ගුණයකින් වැඩිය. මෙම රටවල් දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවාට වඩා ජීවිත හා ගමන් බිමන් සඳහා මීටත් වඩා දැඩි සීමාවන් පනවා මාස 2-3ක් පවත්වා ගෙන ගොස් ඔවුන්ගේ දේශසීමා සම්පූර්ණයෙන්ම වසා දැමුවහොත්, චීනයේ ආරම්භක සාර්ථකත්වය නැවත ලඟා කර ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත. එහෙත් නිදහස් ලෝකයේ නායකයා යැයි කියාගන්නා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් මාස කීපයක් ඇතුලත එක්සත් ජනපදයට සාමන්‍ය ව්‍යාපාර කටයුතු වලට පිවිසිය හැකි යැයි විශ්වාස කරන විට, මට සිතෙන්නේ එය සිදුවිය නොහැකි බලාපොරොත්තුවක් බවයි.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත හෝ මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම වසර පුරාම වෛරසය දිගටම ගෙනයන බව සහතිකය. මෙයින් අදහස් කරන්නේ අවම ප්‍රජා සම්ප්‍රේෂණයක් ඇති සිංගප්පූරුව, කොරියාව, වියට්නාමය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් පවා නව ආසාදන රැළි අවදානමකින් තොරව දේශසීමා විවෘත කිරීමට නොහැකි වනු ඇති බවයි. එක්සත් ජනපදය හා යුරෝපය වැනි රටවල් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ වර්තමාන ක්‍රියාමාර්ග මගින් අගුලු දැමීම ඉවත් කිරීමට තරම් වෛරසයමර්දනය කෙරෙනු ඇත, නමුත් ඔවුන්ගේ දේශසීමා තුළ සංසරණය වන වෛරසය මගින් අවුලුවන ආසාදන රැල්ලට මුහුන පෑමට සිදුවනු ඇත.

ප්‍රධාන ආර්ථිකයන්හි නැවත නැවත අගුලු දැමීම හා ජාත්‍යන්තර සංචාරයන් නැවැත්වීම යන ක්‍රමෝපාය සුසංයෝගයෙන් ඇතිවිය හැකි බරපතල ගෝලීය අවපාතනය නොවැත්විය හැක්කකි. 1930 ගණන් වලින් පසුව ඇතිවුනු බරපතලම අවපාතනය මෙය වනු ඇත. අනෙක් අතට, ආර්ථික විද්‍යාඥයින් හා රාජ්‍ය ආයතන මෙම ප්‍රවණතාවය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති. ගෝලීය වශයෙන් හා බොහෝ රටවල ආර්ථිකය 2020දී හැකිලෙන බව ආර්ථික පුරෝකථිකයින් පිලිගන්නේ ඉතා සෙමිනි.

අපට කළ හැක්කේ කුමක්ද?

මෙම තත්වය තුළ, අපට බලපොරොත්තු විය හැකි හොඳම දෙය නම්, ලෝකයට ඵලදායී එන්නතක් ලැබෙන තාක් කල් තියුණු ලෙස අඩු කරගත් ගෝලී‍ය වෙළදාම හා ගෝලීය සංචාර තුළින් යම් මට්ටමක අර්ධ-සාමාන්‍ය තත්වයක් ඇති කර ගැනීමයි.

මුලදී, නව ආසාදිතයින් රට තුලට ඇතුළුවීම වැලැක්වීම සඳහා අපගේ දේශ සීමා වසා තබා ගත යුතු අතර, රට වෛරසයෙන් තොර බවට පත් කිරීම සඳහා සෑම ආසාදිතයකුම සොයා ගත යුතුය. අප දැනට මේ දෙය කරන අතර මෙයට වඩා රසායනාගාර පරීක්ෂණ පැවැත්වීම තුලින් ආසාදිතයින් සොයා ගැනීම වැඩි දියුණු කර ගත හැකිය.

අප රට රෝගීන් ගණන බිංදුවට ගෙන ආවොත්, අපට ක්‍රමයෙන් අගුලු දැමිම ඉවත් කල හැකිය. පාසල් විවෘත කිරීම ඇතුළුව සාමාන්‍ය ජීවිතයට ඉඩදිය හැකිය. දැඩි සීමාවන් යටතේ අපගේ දේශ සීමා විවෘත කල හැකිය.මේ සඳහා කටයුතු කිරීමේදී වෛරසය ආනයනය කිරීම අවම කිරිම කල හැකි ආක්‍රමනශිලිව පරික්ෂණ පැවැත්වීම හා ආසාදිතයින් වෙන් කිරීමේ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කල යුතුය. තවද, වෛරසය නැවත වරක් රටට පැමිනියහොත් වහාම එය මර්දනය කර ගත හැකි වන පරිදි ජනගහනය අඛන්ඩ නිරීක්ෂණයට භාජනය කල යුතුය. මේ තුලින් අගුලු දැමීම ද වලක්වා ගත හැකිය. සිංගප්පුරුව, තායිවානය සහ චීනය යන රටවල අත්දැකීම් වලින් පෙනී යන්නේ මෙය කල හැකි බවයි.

අප මෙය කලහොත්, වෙනත් රටවල් ගණනාවකට වඩා යහපත් තත්වයකට පත්විය හැකිය. තවද මේ වසරේ අපේ ආර්ථිකය පවා වර්ධනය කර ගත හැකි වනු ඇත. පරස්පරයක් ලෙස, වෛරසයෙන් තොර චීනය හා අනෙකුත් ආසියානු ආර්ථිකයන් සමඟ වෙලදාම පිලිබඳ අවධානය යොමු කිරීමද අවශ්‍ය වනු ඇත.

වෛද්‍ය රවී රන්නන්-එලිය
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

Leave a Reply